bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jude 1
Jude 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
1
මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද, ජාකොබ්ගේ සහෝදරයා ද වන ජූද්ගෙනි. මෙය ලියා එවන්නේ, දෙවි පියාණන් වහන්සේ ප්‍රේම කරන, උන් වහන්සේ කැඳවා වදාළ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආරක්ෂාවෙහි පවතින අය වෙතට ය.
2
කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!
3
ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.
4
මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.
5
සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.
6
තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.
7
තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.
8
එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.
9
එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.
10
එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.
11
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.
12
ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.
13
ඔව්හු, ස්වකීය නින්දාව නමැති පෙණ දමන මුහුදේ, රෞද්‍ර තරංග වැනි ය; ඒ මේ අත දුවන තාරකා වැනි ය. තික්ත කළුවර තැනක් ඔවුන්ට සදහට ම නියම කොට ඇත.
14
ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.
15
එසේ කෙළේ, සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැන ද, අභක්තික පව්කාරයන් වන ඔවුන් විසින් උන් වහන්සේට විරුද්ධ ව කියන ලද තද පරුෂ වචන ගැන ද ඔවුන් වරදට පත් කරන පිණිසත් ය”යි කියා ඇත.
16
මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.
17
ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:
18
“අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.
19
ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.
20
එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න.
21
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.
22
සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න;
23
සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.
24
ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,
25
අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.
Jump to:
Chapter 1
All chapters:
1