bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Obadiah 1
Obadiah 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
1
දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.
2
“මම නුඹ ජාතීන් අතර ඉතා සුළු කරන්නෙමි. නුඹ අධික ලෙස ද්වේෂ කරනු ලබන්නෙහි ය.
3
ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.
4
නුඹ, රාජාලියෙකු මෙන් ඉහළට පියාඹා, නුඹේ කැදැල්ල තාරකා අතරේ පිහිටුවා ගත්තත් එතැනින් වුව ද මම නුඹ පහතට හෙළාදමන්නෙමි”යි පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.
5
“රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!
6
අනේ! ඒසව්; ඔවුන් නුඹේ වස්තුව සොයාගෙන තිබෙන හැටි! ඒ සඟවන ලද වස්තුව පැහැරගෙන ගොස් ඇති හැටි!
7
නුඹ සමඟ ගිවිසුම් කරගත් අය නුඹ රවටා, දේශ සීමාව දක්වා නුඹ පන්නාදමා ඇත. නුඹ සමඟ සාමදානයෙන් සිටි අය දැන් නුඹ පරාජය කර ඇත. නුඹේ හිත-මිතුරන් නුඹට උගුල් අටවා, ‘ඔහුට ඒ ගැන තේරුමක් නැතැ’යි කියනු ඇත.”
8
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?
9
ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.”
10
“නුඹ තම සහෝදර ජාකොබ් ඝාතනය කළ නිසා, නුඹ නින්දා කරනු ලැබ සදහට ම විනාශ කරනු ලබන්නෙහි ය.
11
නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය.
12
නුඹේ සහෝදරයාට පැමිණි විපත්ති ගැන නුඹ ප්‍රීති වීම නොහොබනේ ය. ජුදා වැසියන් විපතට පත් වූ දවසේ දී නුඹ සතුටු වීම හරි නැත. ඔවුන් දුක් විඳින අතර නුඹ ඔවුන්ට උඩඟුකමෙන් සරදම් කිරීම වැරදි ය.
13
මාගේ සෙනඟ විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ නගරයට ඇතුල් නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී, ඔවුන්ගේ දුක දැක ප්‍රීති නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ ධනයට අත වත් නොතබන්න.
14
ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.”
15
“සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ.
16
මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”
17
“කෙසේ වෙතත්, සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. එය ශුද්ධස්ථානයක් වන්නේ ය. ජාකොබ්ගේ වංශය තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේ ය.
18
ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.
19
“නෙගෙබ්හි සිටින අය ඒසව් කන්ද අයිති කරගන්නෝ ය. පහත රටේ අය පිලිස්තිවරුන්ගේ දේශය යටත් කරගන්නෝ ය. ඔව්හු එප්‍රායිම් හා සමාරියේ ගම්බිම් ද බෙන්ජමින්වරු ගිලියද් දේශය ද හිමි කරගන්නෝ ය.
20
ඉශ්රායෙල් ජනයා අතරේ වහල්කමට ගෙනයනු ලැබූ අය වූ හමුදාව ශාරෙපත් දක්වා ම කානාන් දේශය හිමි කරගන්නෝ ය. සෙපාරද්හි වහල්කමට ගෙනයනු ලැබූ ජෙරුසලමේ අය නෙගෙබ් නුවරවල් ද හිමි කරගන්නෝ ය.
21
ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”
Jump to:
Chapter 1
All chapters:
1