bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Peter 2
1 Peter 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
1
එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න.
2
සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,
3
අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න.
4
මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල,
5
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පංතියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක්ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න.
6
මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය: “මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්, මම සියොන්හි තබමි; උන්වහන්සේ තුළ විශ්වාසය තබන කිසිවකු, ලජ්ජාවට පත් නො වේ.”
7
මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.”
8
තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.
9
එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.
10
වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.
11
ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි.
12
ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.
13
හැම මිනිස් අධිකාරිත්වයකට ස්වාමින්වහන්සේ උදෙසා යටත් වන්න. ඒ, ශ්‍රේෂ්ඨ බලධාරියා වශයෙන් රජු විය හැකි ය;
14
නපුර කරන්නවුනට දඬුවම් දෙන්නටත්, හරි දේ කරන්නවුන් පසසන්නටත් ඔහු විසින් යවන ලද ආණ්ඩුකරුවන් විය හැකි ය.
15
මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි; එනම් හරි දේ කිරීමෙන්, මෝඩ මිනිසුන්ගේ නූගත්කම නිරුත්තර කිරීමයි.
16
නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න. එහෙත් ඔබගේ නිදහස දුෂ්ටකම් වසාගැන්මේ ආවරණයක් කර නො ගෙන, දෙවියන්වහන්සේගේ දාසයින් ලෙස ජීවත් වන්න.
17
හැමට ගෞරව දක්වන්න. සහෝදරත්වයට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේට බය වෙන්න. රජුට ගරු කරන්න.
18
දාසයිනි, ඔබගේ ගුණ යහපත් හා මෘදු හාම්පුතුනට පමණක් නො ව අසාධාරණ අයටත් සියලු ගරුත්වයෙන් යුතුව යටත් වන්න.
19
දෙවියන්වහන්සේ කෙරෙහි වූ හෘදය සාක්ෂිය නිසා යමෙක්, අසාධාරණයේ පීඩා විඳ දරා ගන්නේ නම් එය ප්‍රශංසනීය ය.
20
මන්ද ඔබ වරද කර, එනිසා ලැබෙන පහරකෑම විඳ දරා ගැනීමේ ඇති ගෞරවය කිමෙක් ද? එහෙත් හරි දෙයක් කිරීම නිසා එන වධ වේදනා ඔබ ඉවසිල්ලෙන් විඳ දරා ගනී නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය ප්‍රශංසනීය ය.
21
ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක.
22
“උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.”
23
උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන්ම භාරවන්නට වූ සේක.
24
“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”
25
මන්ද “ඔබ සිටියේ මංමුළා වී යන බැටළුවන් මෙනි.” එහෙත් දැන් ඔබ ඔබගේ ජීවයේ එඬේරාණන් ද භාරකරුවාණන් ද වෙත හැරී ඇවිදින් ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
All chapters:
1
2
3
4
5