bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Daniel 2
Daniel 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 3 →
1
නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.
2
එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය.
3
ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.
4
එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ.
5
රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි.
6
එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.
7
ඔව්හු දෙ වන වර උත්තර දෙමින්, “රජතුමා තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කුමක් දැ යි කියාවා; එවිට අපි එහි තේරුම දන්වන්නෙමු”යි කී හ.
8
රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි.
9
ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය.
10
ඔව්හු පිළිතුරු දෙමින්, “රජුගේ ප්රශ්නය නිරාකරණය කිරීමට හැකි සමතෙක් මේ මුළු පොළෝ තලයෙහි ඇත්තේ නැත. ඇරත්, කිසි ම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි ඉල්ලීමක් මන්ත්රකාරයෙකුගෙන් වත් අනවිනකාරයෙකුගෙන් වත්, දෛවඥයෙකුගෙන් වත් කර නැත.
11
රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ.
12
එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ.
13
ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය.
14
බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර,
15
“මෙතරම් තද නියෝගයක් රජතුමා පනවා ඇත්තේ මන්දැ”යි ඇසී ය. අරියොක් ඒ කාරණය දානියෙල්ට විස්තර කර දුන්නේ ය.
16
එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය.
17
එකල දානියෙල් ගෙදර ගොස් තමාගේ සහායකයන් වන හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් කරුණු සැළ කොට,
18
ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය.
19
එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්
20
මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය.
21
කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය.
22
ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.
23
මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”
24
එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, “බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය.
25
එකල අරියොක් තෙමේ රජු ඉදිරියට දානියෙල් හනික කැඳවාගෙන ගොස්, “ජුදා රටෙන් අල්ලාගෙන ආ අය අතරෙහි, රජතුමාගේ සිහිනයේ තේරුම කියන්න පුළුවන් කෙනෙකු මට සම්බ වී ය”යි කී ය.
26
රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.
27
දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්රවන්තයන්ටත්, අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය.
28
එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:
29
“රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ.
30
මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.”
31
“රජතුමනි, ඔබ අතිවිශාල රූපයක් දුටුවෙහි ය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියෙහි තිබුණේ ය. එහි පෙනීම භයංකාර ය.
32
ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද
33
කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී.
34
ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය.
35
එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය.
36
“එය ය, ඔබ දුටු ස්වප්න ය. දැන් එහි තේරුම රජ්ජුරුවන්ට මම කියා දෙන්නෙමි.
37
රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.
38
සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය.
39
ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.
40
යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය.
41
ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය.
42
පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය.
43
යකඩ මැටි මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු ලෙස මනුෂ්‍යයෝ විවාහයෙන් මිශ්‍ර වන්නෝ ය. එහෙත්, යකඩ හා මැටි මිශ්‍ර නොවන සේ ඔව්හු එකට බැඳී නොසිටිති.
44
ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.
45
අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.”
46
එකල නෙබුකද්නෙශර් මුණින් වැටී, දානියෙල්ට වැඳ, ඔහුට පූජාවක් ඔප්පු කරන්නට ද සුවඳ දුම් අල්ලන්නට ද අණ කෙළේ ය.
47
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
48
රජ තෙමේ දානියෙල් උසස් නිලයකට පත්කොට, අනේක විධ අගනා තෑගිබෝග ඔහුට දී, මුළු බබිලෝනි පළාතේ ආණ්ඩුකාරයා ද බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියා ද වශයෙන් පත් කෙළේ ය.
49
දානියෙල්ගේ ඉල්ලීම පිට රජතුමා ෂද්‍රක් ද මේෂක් ද අබෙද්නෙගෝ ද බබිලෝනියේ පළාත් පරිපාලන කටයුතු සඳහා පත් කෙළේ ය. දානියෙල් තෙමේ රජ වාසලේ ම විසී ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12