bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joel 2
Joel 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.
2
ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
3
උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.
4
පෙනුමට උන් අසුන් වැනි ය; උන් දුවන්නේ රණ අසුන් ලෙස ය.
5
අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති.
6
උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි.
7
රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.
8
උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති.
9
උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති.
10
උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි; අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි.
11
සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”
12
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.
13
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
14
සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?
15
සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.
16
සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!
17
ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”
18
එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක.
19
උන් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක. “මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන පිණිස ධාන්‍ය ද මිදියුස ද තෙල් ද මම නුඹලාට දෙමි. මින්පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි.
20
මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.
21
එම්බා දේශය! බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත.
22
වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.
23
සියොන් වැසියෙනි, ප්‍රීති වන්න. ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න. එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන් වැසි ද වස්වන සේක.
24
කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.
25
නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.
26
නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.
27
එවිට මා ඉශ්රායෙල් සෙනඟ අතරේ වැඩ සිටින බව ද අන් දෙවි කෙනෙකු නුඹලාට නැති බව ද නුඹලා දැනගනු ඇත. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.
28
“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.
29
ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්රදානය කරන්නෙමි.
30
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
31
උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.
32
එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3