bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ruth 1
Ruth 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
1
වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය.
2
ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.
3
එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි.
4
ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.
5
ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.
6
ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.
7
ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.
8
නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!
9
තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්,
10
“අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ.
11
එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද?
12
මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්,
13
ඔවුන් නියම වයසට පැමිණෙන තෙක් බලා සිටින්නට ඔබට හැකි ද? ඒ බලාපොරොත්තුවෙන් අන් කෙනෙකු හා විවාහ නොවී සිටීමට ඔබට පුළුවන් ද? මාගේ දූවරුනි, මෙය කරන්නට බැරි දෙයකි. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සිටින බැවින් මාගේ දුක ඔබේ දුකට වඩා දැඩි ය.”
14
ඔව්හු නැවතත් හඬා වැලපෙන්නට පටන්ගත්හ. ඔර්පා තම නැන්දම්මා සිඹ සමුගෙන තමාගේ නෑදෑයින් වෙත ගියා ය. එහෙත්, රූත් තම නැන්දම්මාට ඇළුම්කමින් බැඳී සිටියා ය.
15
එවිට නයෝමි රූත්ට මෙලෙස කීවා ය: “බලන්න, ඔබේ නෑනා තම නෑදෑහිතවතුන් වෙත ද තම කුල දෙවියා වෙත ද ආපසු ගියා ය. ඔබත් ඈ සමඟ යන්න.”
16
එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය.
17
ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”
18
තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය.
19
බෙත්ලෙහෙමට ම පැමිණෙන තෙක් ඔව්හු දෙදෙනා මෙසේ ගමන් කළහ. ඔවුන් එහි පැමිණි විට මුළු නගරය කලබල විය. එහි ස්ත්රීහු, “මේ නයෝමි නොවේ දැ”යි ඇසූ හ.
20
ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.
21
මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?”
22
මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
All chapters:
1
2
3
4