bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ruth 4
Ruth 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය.
2
එවිට බෝවස් ප්රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.
3
ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත.
4
ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.”
5
බෝවස් තවදුරටත් කතා කරමින්, “නයෝමිගෙන් එය මිලයට ගන්න දවසේ දී, මෝවබ් ජාතික වැන්දඹුව වන රූත් ද ඔබ පෙළවහ කොට ගත යුතු ය. එසේ කළ යුත්තේ ඇගේ මියගිය පුරුෂයාගේ කුඹුර එම පවුලට ම උරුම වන පිණිස ය”යි ද කී ය.
6
එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.
7
යම්කිසි විටක ඉඩකඩම් මුදාගැනීමේ දී හෝ හුවමාරු කිරීමේ දී හෝ ඉශ්රායෙල් රටේ මිනිසුන් අතරේ පැවති ස්ථීර කිරීමේ සිරිත මෙසේ ය: විකුණන්නා පාවහන ගලවා මිලයට ගන්නාට දෙයි. ඉශ්රායෙල්හි පැවති ගනුදෙනුව සහතික කිරීමේ පිළිවෙළ මෙය විය.
8
එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය.
9
එවිට එතැන සිටි ප්රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය.
10
තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”
11
“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!
12
සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!”
13
මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය.
14
ස්ත්රීහු නයෝමිට කතා කොට, “සමිඳාණන් වහන්සේට ප්රශංසා වේ වා! ඔබ රැකබලාගැනීමට උන් වහන්සේ ඔබට පුතෙකු දී තිබේ. ඒ දරුවා ඉශ්රායෙල්හි ප්රසිද්ධ වේ වා!
15
ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.
16
නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය.
17
අසල්වැසි ස්ත්රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.
18
පෙරෙශ්ගේ පෙළපත මේ ය: පෙරෙශ් හෙශ්රොන්ගේ පියා ය.
19
හෙශ්රොන් රාම්ගේ ද රාම් අම්මිනාදාබ්ගේ ද
20
අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද
21
සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද
22
ඕබෙද් ජෙස්සේගේ ද ජෙස්සේ දාවිත්ගේ ද පියා විය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4