bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ruth 1
Ruth 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
1
තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමඟ මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය.
2
ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.
3
නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය.
4
ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය.
5
මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය.
6
එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමඟ නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.
7
ඈද ඈ සමඟ ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යුදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය.
8
නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: ඔබ සැම හැරී ඔබ සැමගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. ඔබ සැම මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ ඔබ සැමටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.
9
ඔබ සැම එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ ඔබ සැමට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඕතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඬා:
10
නැත, අපි ඔබ සමඟ ඔබේ සෙනඟ වෙතට යන්නෙමුයයි ඈට කීවෝය.
11
නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමඟ යන්නේ මොකටද? ඔබ සැමට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?
12
මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්,
13
ඔවුන් වැඩෙන තෙක් ඔබ සැම පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය; ස්වාමීන්වහන්සේ ගේ අත මට විරුද්ධව තිබෙන නිසා ඔබ සැමගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය.
14
ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.
15
ඈ කථාකොට: බලව, ඔබේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. ඔබේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය.
16
රූත් කියන්නී: ඔබ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද ඔබ යන තැනට මමත් යමි, ඔබ නවතින තැන මමත් නවතිමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, ඔබේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.
17
ඔබ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් ඔබත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
18
එවිට රූත් ඈ සමඟ යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.
19
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය.
20
ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක.
21
මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, ඔබ සැම මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය.
22
මෙසේ නායොමිද ඈ සමඟ මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
All chapters:
1
2
3
4