bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Matthew 13
Matthew 13
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 14 →
1
ඒ දවසේම යේසුස්වහන්සේ නිවසින් පිටත්ව, මුහුද අද්දර හිඳගත් සේක.
2
විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන් උන්වහන්සේ ඔරුවකට නැග, එහි හිඳගත් සේක. මුළු ජනකායම වෙරළේ සිටගෙන වුන්හ.
3
උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මඟින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත්ව ගියේ ය.
4
ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ.
5
සමහරක්, එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින් ඒවා ඉක්මනින් පැළවිණි.
6
එහෙත් හිරු නැගුණ කල ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය.
7
අන් බීජ කටු පඳුරු අතරේ වැටුණි. කටු පැළ වැවී ඒවා යට කර දැමී ය.
8
සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වීය.
9
කන් ඇත්තා අසත්වා!”
10
එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මඟින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ.
11
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.
12
ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ; ඔහුට අධිකව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.
13
මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත.
14
ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි: “ ‘නිබඳව ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත; නිබඳව ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත.
15
මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි.
16
“එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ.
17
සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබ දකින දේ දකින්නට දිවැසිවරු බොහෝ දෙනෙක් ද දමිටුන් බොහෝ දෙනෙක් ද මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා දක්නට ලැබුණේ නැත. ඔබ අසන දේ අසන්නට ද ඔවුහු මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා අසන්නට ලැබුණේ නැත.
18
“දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න:
19
යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
20
ගල් බිමේ වපුළ බීජ නම්, වචනය අසා, එක්වරම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය.
21
එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි.
22
කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත.
23
සරු බිමෙහි වැටුණු බීජ වන්නේ වචනය අසා එය වටහා ගන්නා ය. ඔහු පල දරන්නේ ය. සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් බැගින් පල දරන්නේ යැ” යි පැවසූ සේක.
24
යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය.
25
ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය.
26
පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය.
27
“එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ.
28
“ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය. “එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ.
29
“ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන.
30
අස්වනු කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමුව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.
31
උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, මිනිසකු තම ගෙවත්තේ සිටුවන අබ ඇටයකට සමාන ය.
32
සියලු බීජ අතරින් ඉතාම කුඩා බීජය අබ වුව ද එය පැළවී වැඩුණ කල, අහස් පක්ෂීන් එහි අතුවල ලගින තරමේ ගසක් බවට පත්ව, පැළෑටි අතර විශාලතම ගස වේ යැ” යි පැවසූ සේක.
33
උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.
34
යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මඟිනි; උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත.
35
මෙසේ වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”
36
ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.
37
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය.
38
කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි.
39
ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි.
40
“කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදුවනු ඇත.
41
මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා,
42
ගිනි ඇවිළෙන උඳුනෙහි හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.
43
එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!
44
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත්ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.
45
“තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්ඳකුට සමාන ය.
46
ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිලදී ගත්තේ ය.
47
“තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයකම මසුන් හසු වූ දැලකට සමාන ය.
48
එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ.
49
යුග අන්තයේදී සිදුවන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට,
50
ගිනි ඇවිළෙන උඳුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.
51
“මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක. “එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
52
“එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකුම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන්ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.
53
යේසුස්වහන්සේ මෙම උපමා පවසා නිම වූ පසු එතැනින් නික්ම,
54
තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිතව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්‍රඥාව? මේ බලවත් ක්‍රියා?
55
මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද?
56
මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් ද? එසේ නම් මේ සියල්ල මොහුට ලැබුණේ කොතැනින් දැ?” යි කීහ.
57
මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමෙන්, ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.
58
ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28