bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 12
Mark 12
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 13 →
1
උන්වහන්සේ ඔවුන්ට උපමා මඟින් කතා කරන්නට පටන් ගෙන, “මිනිසෙක් මිදි වත්තක් වවා, එය වටකර තාප්පයක් බැඳ, මිදි මඬින මෝලක් සඳහා වළක් හාරා, මුර ටැඹක් ද තැනී ය. ඉන්පසු ඔහු ගොවීන්ට වත්ත බදු දී, පිට රටකට ගියේ ය.
2
පල නෙළන කාලය උදා වූ කල, ඔහු මිදි වත්තෙන් තම කොටස ලබන පිණිස බදුකරුවන් වෙත තම සේවකයකු යැවී ය.
3
එහෙත්, ඔවුහු එම දාසයා අල්ලා, තළා-පෙළා, හිස් අතින්ම ආපසු යැවූහ.
4
එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගතව සැලකූහ.
5
ඔහු තවත් කෙනකු යැවී ය. ඔවුහු ඔහු මරා දැමූහ. ඔහු තවත් කීප දෙනකු යැවී ය. ඔවුහු මොවුන්ගෙන් ඇතමකුට පහර දුන් අතර, ඇතමකු මරා දැමූහ.
6
“යැවීමට ඉතිරිව සිටියේ ඔහුගේ එකම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි.
7
“එහෙත් ඒ බදුකරුවෝ තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා. එන්න; මොහු මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ.
8
මෙසේ ඔවුහු ඔහුගේ පුත්‍රයා අල්ලා, මරා, මිදි වත්තෙන් පිටතට ඇද දැමූහ.
9
“මිදි වතු හිමියා ඊට කුමක් කරයි ද? ඔහු ඇවිත් බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇත.
10
මේ ශුද්ධ ලියවිලි පාඨය ඔබ කියවා නැද්ද? “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත.
11
මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි; අපේ ඇස් හමුවේ එය ආශ්චර්ය ය.’ ”
12
එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් ඔවුහු, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ජනයාට බියෙන් ඔවුහු උන්වහන්සේ හැර ඉවත ගියහ.
13
පසුව කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට, ඔවුහු පරිසිවරුන්ගෙන් හා හෙරෝදිවරුන්ගෙන් ඇතමකු උන්වහන්සේ වෙත යැවූහ.
14
ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද?
15
අප බදු ගෙවිය යුතු ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ කුහකකම දත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? ඩිනාරියක කාසියක් මා වෙත ගෙනැවිත්, මට එය බලන්න දෙන්නැ” යි කී සේක.
16
ඔවුන් එය ගෙනා කල, උන්වහන්සේ ඔවුන් අමතමින්, “මෙහි තිබෙන රූපය කාගේ ද? මෙහි ඇති සටහන කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
17
එවිට යේසුස්වහන්සේ, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි කී සේක. ඔවුහු උන්වහන්සේ ගැන මවිත වූහ.
18
මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, ප්‍රශ්න කරමින්,
19
“ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත්ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කරගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි.
20
අප අතර සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කරගෙන දරු පල නො ලැබ මිය ගියා,
21
පසුව දෙවැන්නා ඒ වැන්දඹුව විවාහ කර ගත් නමුදු, ඔහු ද දරු පල නො ලැබ මිය ගියා. තුන්වැන්නාට සිදු වූයේ ද එයමයි.
22
මේ හත්දෙනාම දරු පල නො ලැබම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා.
23
ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින් මරණින් නැවත නැගිටීමේදී ඈ මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.
24
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් ඔබ නො දන්නා නිසයි.
25
මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් මෙන් වනු ඇත.
26
මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝසෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසේ, දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’ යි පැවසූ වග ඔබ කියවා නැද්ද?
27
උන්වහන්සේ මළවුන්ගේ දෙවියන්වහන්සේ නො ව, ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේ ය. ඔබට බොහෝ සේ වැරදී ඇතැ!” යි පැවසූ සේක.
28
පැමිණ සිටි දහම් පඬිවරුන්ගෙන් කෙනෙක්, ඔවුන් එකිනෙකාගේ වාද කිරීම අසා, උන්වහන්සේ ඔවුන්ට නිසි පිළිතුර දුන් වග දැක, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “සියලු ආඥාවලින් වඩාත් උතුම් එක කොයික දැ?” යි ඇසී ය.
29
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “වඩාත් උතුම් ආඥාව මෙයයි: ‘එම්බා ඉශ්රායෙල්, සවන් දෙන්න: අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ එකම ස්වාමින්වහන්සේ ය.
30
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න.’
31
දෙවැන්න මෙයයි: ‘ඔබ ඔබටම ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්නයි. මේවාට වඩා උතුම් ආඥාවක් තවත් නැතැ” යි පැවසූ සේක.
32
එවිට දහම් පඬිවරයා, “ඔබ කීවා හරි ගුරුතුමනි; උන්වහන්සේ එකම තැනැන්වහන්සේ ය; උන්වහන්සේ හැර අන් කෙනෙක් නැතැයි ඔබ කීවා සැබෑ ය.
33
මුළු හෘදයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු ශක්තියෙන් ද උන්වහන්සේට ප්‍රේම කිරීම හා කෙනකු තමාටම ප්‍රේම කරන්නා සේ, ඔහුගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීම, සියලු දවන පූජා හා වෙනත් යාගවලට වඩා උතුම් යැ” යි කීවේ ය.
34
ඔහු ප්‍රඥාවත්ව උත්තර දුන් බව දුටු යේසුස්වහන්සේ, “ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඈතින් නො වේ” යි පැවසූ සේක. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.
35
යේසුස්වහන්සේ දේව මාලිගයේ උගන්වමින්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි දහම් පඬිවරු කියන්නේ කෙසේ ද?
36
දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.
37
“දාවිත් ම උන්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියයි නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක. රැස්ව සිටි විශාල පිරිස උන්වහන්සේට ප්‍රීතියෙන් සවන් දුන්හ.
38
උන්වහන්සේ උගන්වමින්, “දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්,
39
සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.
40
ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.
41
ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයේ පඬුරු පෙට්ටියට ඉදිරියෙන් වාඩි වී, ජනයා පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු බලා සිටි සේක. ධනවතුන් බොහෝ දෙනෙක් මුදල් වැඩි ගණනක් ඊට දැමූහ.
42
එහෙත් දිළිඳු වැන්දඹුවක් පැමිණ, සතයක් වටිනා තඹ කාසි දෙකක් දැමුවා ය.
43
එවිට තම ගෝලයින් කැඳවූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, පඬුරු පෙට්ටියට මුදල් දැමූ අන් සියල්ලන්ටම වඩා මේ දිළිඳු වැන්දඹුව දැමූ බවයි.
44
අන් සැවොම දැමුවේ තමන්ට වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟව තිබියදීත්, ජීවත් වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16