bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Mark 14
Mark 14
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
1
පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.
2
ඔවුහු උනුන් අමතමින්, “නමුත් උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.
3
යේසුස්වහන්සේ, කුෂ්ඨ රෝගියා වූ බෙතානියේ සීමොන්ගේ නිවසේ මේසයට වාඩි වී සිටියදී, ස්ත්‍රියක් පවිත්‍ර නාඩ්වලින් සෑදූ ඉතා මිල අධික සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙනැවිත්, එය කඩා, උන්වහන්සේගේ හිසේ වත් කළා ය.
4
එහි සිටි ඇතමෙක් කෝප වී, ඔවුනොවුන් අතර කතා වෙමින්, “මේ සුවඳ විලවුන් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?
5
මේ සුවඳ විලවුන් විකුණා, ඩිනාරි තුන්සියයකට වැඩි මිලක් ගෙන, දිළිඳුන්ට බෙදා දෙන්න තිබුණා” යි ඇයට දොස් කීහ.
6
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඇයට ඉන්නට හරින්න; මැයට ඔබ කරදර කරන්නේ ඇයි? ඈ මට කර ඇත්තේ, මනහර දෙයක්;
7
දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටීවි. ඔබට ඕන වෙලාවක ඔවුන්ට උදවු කරන්නට ඔබට පුළුවන. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නෑ.
8
ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා.
9
සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින් ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
10
එවිට දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකවරුන් වෙත ගියේ, උන්වහන්සේ ඔවුන් අතට පාවා දෙන පිණිස ය.
11
ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
12
පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.
13
උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසුපස යන්න.
14
ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මාගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න.
15
අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක.
16
ගෝලයෝ පිටත්ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.
17
සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ පැමිණි සේක.
18
ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
19
ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ.
20
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ එක පතේ අත ලූ තැනැත්තා ය.
21
උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
22
ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මාගේ ශරීරය යැ” යි පැවසූ සේක.
23
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය.
24
උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ ලෙය මෙයයි.
25
සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක.
26
ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.
27
යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසිරවනු ලබති’ යි ලියා තිබේ.
28
එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
29
පේතෘස් කතා කරමින්, “හැමදෙනා ඔබ මඟහැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය.
30
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක්ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.
31
එහෙත් “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.
32
ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක.
33
පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී,
34
ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක.
35
එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, හැකි නම් ඒ පැය තමන් වෙතින් ඉවත් කරන මෙන් යාච්ඤා කරමින්,
36
“අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක්ම පුළුවන. මේ කුසලාන මාගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මාගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක.
37
උන්වහන්සේ ආපසු ගෝලයින් වෙත පැමිණ, ඔවුන් නිදා සිටිනු දැක, පේතෘස් අමතමින්, “සීමොන් ඔබ නිදි ද? ඔබට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණා ද?
38
පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
39
නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක.
40
උන්වහන්සේ ආපසු පැමිණි කල, ඔවුන් නැවතත් නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බරව තිබිණි. උන්වහන්සේට කුමක් කියන්නදැයි ඔවුහු නො දත්හ.
41
උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි.
42
නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
43
එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ.
44
“මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ.
45
මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.
46
ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ.
47
ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය.
48
ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සොරෙකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද?
49
දවස්පතා මම දේව මාලිගයේ නුඹලා අතර උගන්වමින් සිටියෙමි; නුඹලා මා අල්ලා ගත්තේ නැත. එනමුත් ශුද්ධ ලියවිලි ඉෂ්ට විය යුතු යැ” යි කී සේක.
50
එවිට සැවොම උන්වහන්සේ හැර, පලා ගියහ.
51
හණ රෙද්දකින් පමණක් සිරුර වසා ගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස ගියේ ය. ඔවුන් ඔහු අල්ලාගත් කල,
52
ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය.
53
ඔවුහු උත්තම පූජකයා වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. සියලු නායක පූජකවරු, වැඩිහිටියෝ හා දහම් පඬිවරු එහි රැස් වූහ.
54
පේතෘස් මදක් දුරින් පැමිණ, උන්වහන්සේ පසුපසින් උත්තම පූජක මැදුරේ මිදුලට ඇතුළු වී, මුරකරුවන් සමඟ හිඳ, ගිනි තපිමින් සිටියේ ය.
55
නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණුවන පිණිස, උන්වහන්සේට විරුද්ධ සාක්ෂි සෙවූ නමුත්, කිසිවක් සම්භ වූයේ නැත.
56
එහෙත් බොහෝ දෙනා උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි දුන් නමුත් ඔවුන්ගේ සාක්ෂි ද නො ගැළපිණි.
57
එවිට ඇතමෙක් නැගිට, උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි දෙමින්,
58
“ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ.
59
එහෙත් ඔවුන්ගේ මේ සාක්ෂිය ද ගැළපුණේ නැත.
60
එවිට ඔවුන් ඉදිරියේ නැගිට, උත්තම පූජකයා, යේසුස්වහන්සේ අමතා, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය.
61
එහෙත් උන්වහන්සේ පිළිතුරු නො දී නිහඬව සිටි සේක. එවිට උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ ද? ආශිර්වාද ලද්දාණන්වහන්සේගේ පුත්‍රයා දැ?” යි ඇසී ය.
62
“මම වෙමි” යි පැවසූ යේසුස්වහන්සේ, “තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බලවන්තයාණන්ගේ දකුණු පස අසුන් ගෙන සිටිනුත්, අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔබ දකිනු ඇතැ” යි කී සේක.
63
එවිට උත්තම පූජකයා තම ඇඳිවත් ඉරා ගනිමින්, “තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද?
64
ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය.
65
එවිට ඇතමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටත්, උන්වහන්සේගේ ඇස් බැඳ, අත්මිටින් පහර දෙමින්, “දිවැසින් කියනු” යි කීහ. මුර සෙබළු පහර දෙමින් උන්වහන්සේ භාර ගත්හ.
66
පේතෘස් මැදුරේ පහළ මිදුලේ සිටියදී, උත්තම පූජකයාගේ සේවිකාවක් පැමිණ,
67
පේතෘස් ගිනි තපිමින් සිටිනු දැක, ඔහු දෙස ඕනෑකමින් බලා, “ඒ නාසරීය යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.
68
එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය.
69
සේවිකාව ඔහු දැක, “මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙකැ” යි ළඟ සිටියවුනට නැවතත් කීවා ය.
70
එහෙත් ඔහු නැවතත් එය ප්‍රතික්ෂේප කළේ ය. මද වේලාවකට පසු, ළඟ සිටි අය පේතෘස් අමතමින්, “නුඹ ඔවුන්ගේම කෙනෙක් තමයි; මන්ද නුඹ ගලීලයෙකැ” යි කීහ.
71
ඔහු තමාටම ශාප කර ගනිමින්, ඔවුන්ට දිවුරමින්, “ඔබ කියන මේ මිනිසා මා හඳුනන්නේ නෑ” යි කීවේ ය.
72
එකෙණෙහිම කුකුළා දෙවන වරට හැඬලී ය. එකල, “කුකුළා දෙවරක් හඬලන්නට පෙර, තුන් වරක්ම ඔබ මා හඳුනන්නේ නැතැ” යි යේසුස්වහන්සේ තමාට කී හැටි සිහි කළ පේතෘස්, දැඩි සංවේගයෙන් වැලපුණේ ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16