bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 1
John 1
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
1
මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේව සිටි සේක;
2
උන්වහන්සේ මූලාරම්භයේ දෙවියන්වහන්සේ සමඟ වූ සේක.
3
සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මඟිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොරව මවනු නො ලැබුණි.
4
ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි.
5
ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත.
6
දෙවියන්වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයෙක් විය; ඔහුගේ නම යොහන් ය.
7
ඔහු පැමිණියේ ඔහු මඟින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය.
8
ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි.
9
හැම මනුෂ්‍යයකුටම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය.
10
උන්වහන්සේ ලෝකයේ සිටි සේක; ලෝකය මවන ලද්දේ උන්වහන්සේ මඟින් වුව ද, ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත.
11
උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය.
12
එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක.
13
ඔවුහු ලෙයින්වත්, මාංසයේ කැමැත්තෙන්වත්, මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නො ව, දෙවියන්වහන්සේගෙන් උපත ලද්දෝ ය.
14
වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.
15
යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දරමින්, “ ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තමයකු මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැන යැ” යි මොර ගැසී ය.
16
උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අප හැම අනුග්‍රහ පිට අනුග්‍රහ ලැබීමු.
17
දහම් නීති සංග්‍රහය දෙන ලද්දේ, මෝසෙස් මඟිනි. අනුග්‍රහය හා සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟිනි.
18
කිසිවෙක්, කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් උන්වහන්සේ හඳුන්වා දුන්නේ, පියාණන්වහන්සේගේ ළයෙහි සිටින එකම පුත්‍ර වූ දෙවියන්වහන්සේම ය.
19
“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි:
20
“මම ක්‍රිස්තුස්වහන්සේ නො වෙමි” යි ඔහු ප්‍රකාශ කළේ ය. එසේ ප්‍රකාශ කරන්නට ඔහු පැකුළුණේ නැත.
21
“එහෙනම් ඔබ කවුරු ද? ඔබ එලියාදැ?” යි ඔවුහු ඇසූහ. “නැතැ” යි ඔහු කීවේ ය. “ඔබ දිවැසිවරයා දැ?” යි ඔවුහු ඇසූහ. ඔහු “නැතැ” යි කීවේ ය.
22
ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන් ය කියා දැ?” යි ඇසූහ.
23
යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී කාන්තාරයේ හඬගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය.
24
එවිට පරිසිවරුන් විසින් එවනු ලැබූ අය,
25
ඔහු අමතමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේවත්, එලියාවත්, දිවැසිවරයාවත් නො වේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මොකදැ?” යි ඇසූහ.
26
යොහන් පිළිතුරු දෙමින්, “මා බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් ඔබ නො හඳුනන කෙනෙක් ඔබ අතරේ සිටින සේක;
27
මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය.
28
මේ සියල්ල සිදු වූයේ යොහන් බව්තීස්ම කරමින් සිටි යොර්දාන් නදියෙන් එතෙර පිහිටි බෙතානියේදී ය.
29
පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;
30
‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි.
31
මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය.
32
යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා.
33
මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක.
34
මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය.
35
පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ එතැන සිටි යොහන්,
36
යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය.
37
ඔහු එසේ පවසනු ඇසූ ගෝලයෝ දෙදෙන යේසුස්වහන්සේ පස්සේ ගියහ.
38
යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසුපස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.)
39
“එන්න, ඇවිත් බලන්නැ” යි උන්වහන්සේ කී සේක. එසේ ගිය ඔවුහු, උන්වහන්සේ වෙසෙන තැන දැක, එදින උන්වහන්සේ සමඟ ගත කළහ. එවිට වෙලාව දස වන පැය පමණ විය.
40
යොහන් කී දේ අසා, උන්වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් කෙනකු වූයේ සීමොන් පේතෘස්ගේ සහෝදර අන්දෘ ය.
41
පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).
42
ඔහු යේසුස්වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ඔබ යොහන්ගේ පුත්‍ර සීමොන් ය. ඔබ කේපස් නමින් හඳුන්වනු ලබන්නේ යැ” යි කී සේක. (එහි අර්ථය පේතෘස් ය).
43
පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක.
44
පිලිප්, පේතෘස් හා අන්දෘ මෙන් බෙත්සයිදා නගර වැසියෙකි.
45
පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.
46
“නාසරෙත්!” යයි කී නතානියෙල්, “කිසි හොඳක් එහෙන් ඒ දැ?” යි ඇසී ය. “ඇවිත් බලන්නැ” යි පිලිප් කීවේ ය.
47
නතානියෙල් තමන් වෙත ළඟා වනු දුටු යේසුස්වහන්සේ ඔහු අමතා, “මෙන්න! තමා තුළ හොර බොරු නැති නියම ඉශ්‍රායෙල්වරයෙක්” යැයි කී සේක.
48
“ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.
49
එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.
50
යේසුස්වහන්සේ ඔහු අමතමින්, “අත්තික්කා ගහ යටදී මා ඔබ දුටුවා කීමෙන්, ඔබ විශ්වාස කරනවා ද? මීට වඩා මහත් දේවල් ඔබ දකිනු ඇත;
51
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයින් මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත නඟිනවාත්, බසිනවාත් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21