bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 4
John 4
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 5 →
1
යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය.
2
(එහෙත් ඇත්තෙන්ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.)
3
උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක.
4
ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි.
5
යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක.
6
යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත්ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හයවන පැය පමණ විය.
7
සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක.
8
උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ.
9
එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත්වූ බැවිනි.)
10
යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
11
එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද?
12
අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය.
13
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ;
14
එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.
15
එවිට ඕ “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය.
16
“ගොසින් ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,
17
“මට ස්වාමි පුරුෂයකු නැතැ” යි ඕ කීවා ය. එවිට යේසුස්වහන්සේ, “ඔබට ස්වාමි පුරුෂයකු නැති වග ඔබ කීවා හරි;
18
ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස්දෙනකුම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමි පුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක.
19
එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ;
20
අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය.
21
එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි.
22
ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්;
23
එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.
24
දෙවියන්වහන්සේ ආත්මයාණන් ය; උන්වහන්සේට නමස්කාර කරන්නන්, නමස්කාර කළ යුත්තේත්, ආත්මයෙන් හා සැබෑකමින්” යැයි පැවසූ සේක.
25
එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක්ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය.
26
එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක.
27
ඒ වෙලාවේම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත.
28
එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැනම තබා, නගරයට ගොස්,
29
“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.
30
එවිට නගරයෙන් පිටතට ආ ඔවුහු උන්වහන්සේ සිටි දෙසට ආහ.
31
ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.
32
“ඔබ කොහෙත්ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක.
33
එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ.
34
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි.
35
‘තව හාර මාසයයි; ඊ ළඟට කපන කාලය පැමිණේ’ යි ඔබ කියනවා නො වේ ද? මා ඔබට කියන්නේ, ඇස් ඇර කුඹුරු දිහා බලන්න! අස්වනු නෙළීමට ඒවා දැනටමත් පැහිලා.
36
වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීති ප්‍රමෝද වන පිණිස අස්වනු නෙළන්නා දැනටමත් තම වැටුප් ලැබ, සදාතන ජීවනයට පලදාව රැස් කරයි.
37
මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි.
38
ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.
39
“මෙතෙක් මා කළ හැම දෙයක්ම එතුමා මට කීවා” යන ඒ ස්ත්‍රියගේ සාක්ෂිය නිසා, ඒ නගරයේ සමාරි වාසීහු බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
40
එබැවින් ඔවුහු උන්වහන්සේ හමුවට ආ කල, තමන් සමඟ නවතින්නැයි උන්වහන්සේට ඇවිටිලි කළහ. උන්වහන්සේ දින දෙකක් ඔවුන් සමඟ ගත කළ සේක.
41
එහිදී උන්වහන්සේගේ වචන නිසා, තවත් බොහෝ දෙනෙක් ඇදහිලිවතුන් බවට පත් වූහ.
42
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
43
ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක.
44
“ගමේ දිවැසිවරයාට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු,
45
යෙරුසලමේ පාස්කු උත්සවයේදී උන්වහන්සේ සිදු කළ සියල්ල දැක තිබූ ගලීල වාසීහු උන්වහන්සේ හරසරින් පිළිගත්හ. ඔවුන් ද උත්සවයට ගොස් තිබුණි.
46
යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය.
47
යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්නව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය.
48
යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ? යි ඇසූ සේක.
49
“මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි නිලධාරියා කියා සිටියේ ය.
50
“යන්න; ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල, ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය.
51
ඔහු මඟ යද්දීම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ.
52
ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත්වන පැයේදී ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ.
53
“ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියටම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ.
54
යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දැක්වූ දෙවන අනුහස් ලකුණ මෙයයි.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21