bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 11
Hebrews 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
1
ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි.
2
මන්ද පැරැන්නන් තම පිළිගැනීමක් ලද්දේ එමඟින් ය.
3
දෙවියන්වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ වග අප වටහා ගන්නේ ඇදහිල්ලෙනි. මෙසේ පෙනෙන දෙය, නො පෙනෙන දෙයින් පහළ වූ බව පෙනී යයි.
4
කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.
5
මරණය නො දකින පිණිස, ඒනොක් ඔසවා ගනු ලැබුවේ ඇදහිල්ලෙනි: දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින්, ඔහු හමු නො වීය. එසේ ගනු ලැබීමට පෙර, ඔහු දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ වගට සාක්ෂි ලැබිණ.
6
ඇදහිල්ලෙන් තොරව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.
7
එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතුව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.
8
ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.
9
තමා හා එකම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත් වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි.
10
මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය.
11
පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වාසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි.
12
මළ මිනිසකු වැනි වූ එක මිනිසකුගෙන් අහසේ තරු මෙන් බොහෝ වූ ද මුහුදු වෙරළේ වැලි මෙන් අනන්ත වූ ද දරු පරපුරක් බිහි වූයේ එබැවිනි.
13
ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.
14
මන්ද මෙසේ පවසන අය තමන්ගේම වාස-භූමියක් සොයනා වග ප්‍රකට කරති.
15
තමන් පිටත්ව ආ දේශය, තමන්ගේ දේශය වශයෙන් ඔවුහු සිතා සිටියාහු නම්, ආපසු එහි හැරී යෑමට ඔවුනට අවස්ථාව තිබිණි.
16
එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.
17
පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එකම පුත්‍රයා පූජා කරන්නට වූයේ,
18
“ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මඟිනි” යි ඔහු ගැන පවසා තිබියදී ය.
19
උපමා අලංකාරයෙන් කියතහොත් ඔහු ඊසාක් නැවත ලබා ගත්තේ ය. ඒ මළවුන් වුව නැගිටුවන්නට දෙවියන්වහන්සේට පුළුවනැයි සැලකූ බැවිනි.
20
යාකොබ් හා ඒසව්ගේ මතු අනාගතය සලකා, ඊසාක් ඔවුනට ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.
21
මරණ මංචකයේ යාකොබ් තම සැරයටියට බර වී, මුදුනට හිස නමා, නමස්කාර කරමින්, යෝසෙප්ගේ පුතුන්ට වෙන්, වෙන්ව ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.
22
තම අවසන් මොහොතේ යෝසෙප්, ඉශ්රායෙල් ජනයාගේ නික්මයෑම මතක් කර, තම ඇටකටු ගැන උපදෙස් දුන්නේ ඇදහිල්ලෙනි.
23
මෝසෙස් උපන් කල, ඔහු පියකරු දරුවකු වග දුටු ඔහුගේ මව්පිය දෙපොළ රාජ නියෝගයට බය නො වී, තුන් මසක්ම ඔහු සඟවා තබා ගත්තේ ඇදහිල්ලෙනි.
24
වැඩිවියට පත් පසු මෝසෙස්, පාරාවෝ රජුගේ දූ කුමරියගේ පුත්‍රයා යැයි හඳුන්වනු ලැබීම ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේ,
25
සුළු කලකට පාපයේ සැපත භුක්ති විඳිනවාට වඩා, දෙවියන්වහන්සේගේ ජනයා සමඟ කම්කටොලු විඳීම තෝරා ගැනීමෙනි.
26
ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉෂ්ට විපාකය දෙස බලා සිටියේ ය.
27
රාජ උදහසට බය නො වී, ඔහු ඊජිප්තුව හැර ගියේ ඇදහිල්ලෙනි. මන්ද අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නකු සේ ඔහු නො සැලී සිටියේ ය.
28
කුලුඳුලන් ඝාතකයා, ඔවුනට අත නො තබන පිණිස, පාස්කුව පවත්වා ඔහු ලේ ඉස්සේ ඇදහිල්ලෙනි.
29
වියළි ගොඩබිමේ ගමන් ගන්නා සේ ජනයා රතු මුහුද මැදින් ගියේ ඇදහිල්ලෙනි; එලෙස යෑමට තැත් කළ ඊජිප්තුවරු දියේ ගිලී මළහ.
30
ඔවුන් හත් දවසක් යෙරිකෝ පුරවරය වටලා ගමන් ගිය කල, පුර පවුරු බිඳ වැටුණේ ඇදහිල්ලෙනි.
31
අකීකරුවූවන් සමඟ රාහබ් පුරඟන විනාශ නො වූයේ ඇදහිල්ලෙනි. මන්ද ඈ ඔත්තුකරුවන් පිළිගත්තේ මිත්‍රත්වයෙනි.
32
මා තව මොනවා කියන්න ද? ගිඩියොන්, බාරක්, සම්සොන්, යෙප්තා හා දාවිත් ගැනත්, සාමුවෙල් හා දිවැසිවරුන් ගැනත් කියන්නට මට කාලය නැත.
33
ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළහ. යුක්තිය පිහිටූහ, පොරොන්දු අත්කර ගත්හ; සිංහ මුඛ පියවූහ;
34
රුදුරු ගින්නේ බල, මැඩපැවැත් වූහ, කඩු මුවහතින් ගැලවී පලා ගියහ; දුබලකම්, ප්‍රබලකමට හරවා ගත්හ. යුද්ධයට බලවත් වූහ; සතුරු හමුදා පලවා යැවූහ.
35
ස්ත්‍රීහු මිය ගිය තම ප්‍රියයන්ගේ ජීවිත නැවත ලදහ. ඇතමෙක් වඩා හොඳ නැවත නැගිටීමක් අත්කර ගන්නා පිණිස, නිදහස් කරනු ලැබීම ප්‍රතික්ෂේප කොට, දරුණු වධ බන්ධන ලැබූහ.
36
අන්‍යයෝ පරිහාසයටත්, කස පහරටත්, විලංගු ලනු ලැබීමට හා සිර කරනු ලැබීමටත් මුහුණ පෑහ;
37
ඔවුහු මැරෙන තුරා ගල් ගසනු ලැබූහ; කියතින් දෙකට ඉරනු ලැබූහ; කඩුවෙන් මරා දමනු ලදහ. ඔවුහු අනාථ භාවයට, වධයට, අසාධාරණයට ගොදුරු වෙමින් එළු හම් හා බැටළු හම් පමණකින් විළි වසාගෙන, තැන් තැන්හි ගියහ.
38
ඔවුන් දරන්නට තරම් ලෝකය වටින්නේ නැත. ඔවුහු මරු කතරේ ද කඳු අතරේ ද ගුහා තුළ හා පොළෝ කුහර තුළ ද ඉබාගාතේ ඇවිද්දහ.
39
ඔවුන් සියල්ලෝ තමන්ගේ ඇදහිල්ල තුළින් අනුමැතිය දිනුවෝ වුව ද, පොරොන්දු වූ දෑ නො ලද්දෝ ය.
40
මන්ද අපගෙන් තොරව ඔවුන් පූර්ණත්වයට පත් නො වන ලෙසට දෙවියන්වහන්සේ අප උදෙසා වඩා හොඳ සැලැස්මක් සපයා තිබූ බැවිනි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13