bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 1
Luke 1
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
1
අප අතර ඉටු වූ දෑ ගැන වාර්තාවක් සම්පාදන කිරීම බොහෝ දෙනකුම බාරගෙන ඇත්තේ,
2
ඒවා මුල පටන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හා වචනයේ සේවකයින් අපට බාර දුන් දෑ අනුව ය.
3
මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි,
4
ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි.
5
යුදයේ රජු වූ හෙරෝද්ගේ දවස්හි, අබියාගේ කාණ්ඩයට අයත් සෙකරියස් නම් පූජකයෙක් විසී ය. ඔහුට ආරොන්ගේ දියණියන්ගෙන් භාර්යාවක වූවා ය. ඈ නමින් එලිසබෙත් ය.
6
ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂීව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ.
7
එහෙත් ඔවුනට දරුවන් සිටියේ නැත; මන්ද එලිසබෙත් වඳ ස්ත්‍රියක වූවා ය; තවද ඔවුන් දෙදෙනාම සිටියේ වයස් ගතව ය.
8
දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ,
9
පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල්ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි.
10
සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ.
11
එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය.
12
ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය.
13
එහෙත් දේව දූතයා ඔහු අමතමින්, “බය නො වන්න සෙකරියස්, ඔබගේ යාච්ඤාව අසනු ලැබ ඇත; ඔබේ භාර්යාව එලිසබෙත්, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතු ය.
14
ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රමෝද වනු ඇත.
15
මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත.
16
ඔහු ඉශ්රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත.
17
තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය.
18
එවිට සෙකරියස් දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මා දැන් මහලුයි; මගේ භාර්යාවත් වයසට ගොස් ඇතැ” යි කීවේ ය.
19
එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගන්නා ගාබ්‍රියෙල් මමයි. මා එවන ලද්දේ ඔබ සමඟ කතා කොට, මේ ශුභාරංචිය ඔබට දන්වන්නටයි.
20
ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය.
21
ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ.
22
ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරිව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය.
23
තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය.
24
මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්,
25
“ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.
26
සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර
27
කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය.
28
දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.
29
ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය.
30
දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා.
31
ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය.
32
උන්වහන්සේ උත්තම වන සේක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක.
33
උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය.
34
එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවකව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය.
35
දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ.
36
බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිණියක්.
37
මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය.
38
මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත්ව ගියේ ය.
39
එදවස්හි මරියා සූදානම්ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහුව ගොස්,
40
සෙකරියස්ගේ නිවසට ඇතුල්ව, එලිසබෙත්ට ආචාර කළා ය.
41
මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්,
42
උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි.
43
එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද?
44
බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා.
45
ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය.
46
එවිට මරියා මෙසේ පැවසුවා ය: “මාගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි;
47
මාගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මාගේ ආත්මය ප්‍රීති වෙයි.
48
මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක්ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත.
49
මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය.
50
උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට, උන්වහන්සේට බය ඇත්තන්ට ය.
51
උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන්වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතිවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක.
52
උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර, නිහතමානීන් ඔසවා තැබූ සේක.
53
උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්,
54
උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්රායෙල්ට උපකාර කළේ,
55
අප පියවරුනට, ආබ්‍රහම්ට හා සදහට ම ඔහුගෙන් පැවත එන්නන්ට, උන්වහන්සේ කතා කළ පරිද්දෙනි.”
56
එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය.
57
එලිසබෙත්ට ප්‍රසූති කාලය පැමිණි කල, ඕ පුතකු බිහි කළා ය.
58
ස්වාමින්වහන්සේ ඇයට පෑ මහත් දයාව ගැන ඇසූ ඇගේ නෑයෝ හා අසල්වැසියෝ ඇය සමඟ ප්‍රීති වූහ.
59
අට වන දවසේ, දරුවා චර්මඡේද කරන්නට පැමිණි ඔවුහු, ඔහුගේ පියාට අනුව, ඔහුට සෙකරියස් යන නම තබන්නට සැරසුණහ.
60
එහෙත් ඔහුගේ මව කතා කරමින්, “නැත; ඔහු යොහන් නමින් හඳුන්වන්නට ඕනෑ” යි කීවා ය.
61
“ඔබේ පවුලේ කිසිවකුටත් එවැනි නමක් නැතැ” යි ඔවුහු ඇයට පැවසූහ.
62
ඉන්පසු ඔවුහු, ඔහුගේ පියා ඔහුට කවර නමක් දීමට කැමැත්තේදැයි විමසමින් ඔහුට සංඥා කළහ.
63
එවිට ඔහු ලියන ලෑල්ලක් ඉල්ලා ගෙන, “ඔහුගේ නම යොහන්” කියා ලීවේ ය. එවිට සියල්ලෝ විස්මිත වූහ.
64
එකෙණෙහි ඔහුගේ මුව විවරව, ඔහුගේ දිව ලිහී, ඔහු දෙවියන්වහන්සේ පසසමින් කතා කළේ ය.
65
අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ.
66
මේ ගැන ඇසූ සැවොම එය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වේදෝ?” යි කීහ. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට පැවතියේ ය.
67
ඔහුගේ පියා වූ සෙකරියස්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මෙසේ දිවැස් වැකි පැවසී ය:
68
“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන, ස්වාමින්වහන්සේට තුති පැසසුම් වේවා; මන්ද උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණ, ඔවුන් මිදූ සේක,
69
සිය සේවක දාවිත්ගේ පෙළපතින් ගැලවීමේ අඟක් උන්වහන්සේ අපට නැගිටුවා දුන්නේ,
70
ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,
71
අපගේ සතුරන්ගෙන් හා අපට වෛර කරන සියල්ලන් අතින් අප ගලවනු ලැබීමට ය.
72
අපගේ පියවරුනට පොරොන්දු වූ දයාව පෙන්වීමට හා උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම සිහිකිරීමට ය.
73
අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම,
74
අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;
75
අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය.
76
“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,
77
උන්වහන්සේගේ ජනයාට ඔවුන්ගේ පාපවලට කමාව තුළින් ගැලවීමේ දැනුම ගෙන දීමට ය.
78
අපගේ දෙවියන්වහන්සේගේ මෘදු වූ දයාව නිසා ය, ඉහළ අහසේ සිට අපට හිරු උදාවන්නේ;
79
ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”
80
දරුවා වැඩී, ආත්මයෙන් බලවත් විය; ඉශ්රායෙල් වෙත ප්‍රසිද්ධියේ පෙනී සිටින තෙක්, ඔහු පාළුකරයේ වාසය කළේ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
Recommended Reading
Commentary
Luke Commentaries
→
Devotional
Luke Devotional Guide
→
Get This Bible
SCV Study Bible
→